2026-08-23 17:14:00 Hours

පාර්ලිමේන්තුවේ ඉන්ධන භාවිතය ගැන එළියට ආ විගණන වාර්තාව


...

8 වන සහ 9 වන පාර්ලිමේන්තු සභාවාරයන්ට අදාළ විගණන වාර්තාවෙන් ඉන්ධන භාවිතය සහ වාහන වරප්‍රසාද සම්බන්ධයෙන් විශේෂ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

විගණන වාර්තාවට අනුව, පාර්ලිමේන්තු කථානායකවරයාගේ ඉන්ධන භාවිතය සඳහා සීමාවන් පනවා නොතිබීම හේතුවෙන් සීමාරහිතව ඉන්ධන භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබී ඇත.

ඒ අනුව 2023 සහ 2024 වසරවලදී කථානායකවරයා මාසිකව සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 3,994ක් සහ 6,122ක් භාවිත කර ඇති අතර, එය 2022 වසරට සාපේක්ෂව පිළිවෙළින් 66%ක සහ 155%ක වැඩිවීමක් බව විගණනයේදී නිරීක්ෂණය කර තිබෙනවා.

එම වසර දෙක තුළ කථානායකවරයාගේ ඉන්ධන සඳහා වැය කර ඇති මුදල පිළිවෙළින් රුපියල් මිලියන 19.37ක් සහ රුපියල් මිලියන 26.04ක් බවද වාර්තාවේ සඳහන් වනවා.

මේ අතර, නියෝජ්‍ය කථානායක ධුරය කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට සමාන කරමින් වරප්‍රසාද ලබාදී තිබුණද, අදාළ ඉන්ධන සීමාවන් නොසලකා සීමාරහිතව ඉන්ධන භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබූ බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා.

2023 සහ 2024 වසරවලදී නියෝජ්‍ය කථානායකවරයාට නිල වාහන තුනට අමතරව පෞද්ගලික මෝටර් රථයක් සඳහාද ඉන්ධන ලීටර් 21,299ක් ලබාදී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 8.54ක් වැය කර තිබෙනවා.

එමෙන්ම නිල වාහන සඳහාද නියමිත ඉන්ධන සීමාව ඉක්මවා භාවිත කර ඇති බව විගණන වාර්තාවෙන් අනාවරණය කර ඇත.

නියෝජ්‍ය කථානායක ධුරයට පහළ තනතුරක් වන කාරක සභා සභාපති ධුරය සඳහාද නිල වාහන තුනක් වෙන්කර සීමාරහිතව ඉන්ධන ලබාදී ඇති බවත්, එම තනතුර සඳහා හිමි ඉන්ධන ප්‍රමාණය හෝ වාහන සංඛ්‍යාව නිශ්චිතව තීරණය කර නොතිබූ බවත් වාර්තාවේ සඳහන් වනවා.

පාර්ලිමේන්තු මහලේකම් නිල වාහන දෙකක් එකවර භාවිත කරලා

2022 සහ 2023 වසරවලදී පාර්ලිමේන්තු මහලේකම්වරයා එකවර නිල වාහන දෙකක් භාවිත කර ඇති බවද විගණන වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.

එම වාහන දෙකෙහි ධාවන සටහන් පරීක්ෂා කිරීමේදී එකම කාලසීමාව තුළ වාහන දෙකම ධාවනය සඳහා ලබාගෙන තිබූ බව නිරීක්ෂණය වී ඇත.

මහලේකම් තනතුර සඳහාද ඉන්ධන භාවිතයට සීමාවක් පනවා නොතිබූ බව වාර්තාවේ සඳහන් වනවා.

2022 සිට 2024 දක්වා කාලය තුළ මහලේකම්වරයා විසින් ඉන්ධන ලීටර් 15,063ක් භාවිත කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 6.07ක් වැය කර තිබෙනවා.

එම ඉන්ධන ප්‍රමාණය වාර්ෂිකව සාමාන්‍යයෙන් ලීටර් 5,031ක් වන අතර, එය ඉහළම ඉන්ධන වරප්‍රසාදයක් හිමි රාජ්‍ය නිලධාරී තනතුරක් වන අමාත්‍යාංශ ලේකම්වරයෙකුට හිමි ප්‍රමාණයට වඩා ලීටර් 2,300කින් වැඩි බවද විගණනයේදී නිරීක්ෂණය කර ඇති බව වාර්තා වනවා.

තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම් ඇතුළු ඇතැම් නිලධාරීන්ට රාජකාරි ගමන් සඳහා සීමාරහිත ඉන්ධන ලබාදීමත්, පෞද්ගලික ගමන් සඳහා මාසිකව කිලෝමීටර් 1,200ක උපරිම සීමාවක් ලබාදීමත් අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට නොමැති වරප්‍රසාදයක් බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම නියමිත සීමාව ඉක්මවා පෞද්ගලික ගමන් සඳහා වාහන භාවිත කිරීමේදී අයකර තිබූ කිලෝමීටරයකට රුපියල් 8ක මුදල ඉන්ධන වෙළෙඳපොළ මිල සමඟ සැසඳීමේදී ප්‍රමාණවත් නොවන බවද විගණනයේදී නිරීක්ෂණය කර ඇත.

ඒ හේතුවෙන් 2015 සැප්තැම්බර් සිට 2022 ජූනි දක්වා කාලය තුළ රජයට අයකර ගැනීමට තිබූ රුපියල් මිලියන 2.71කට ආසන්න මුදලක් අහිමි වී ඇති බවද විගණන වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, 2022 ජූලි මාසයෙන් පසුව සීමාව ඉක්මවා පෞද්ගලික භාවිතයට ගත් වාහන සඳහා වෙළෙඳපොළ ඉන්ධන මිල අනුව අයකිරීම් සිදුකර ඇති අතර, එමගින් පසුව සීමාව ඉක්මවා වාහන භාවිත කිරීම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk