2026-08-20 20:24:00 Hours

හෙළ දෙරණින් නික්ම ගිය ජාතියේ යශෝරාවය


...

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඇය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා වියේ සිටම ගායනයට දක්ෂතා දැක්වූවා.

කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඇයගේ ගායන හැකියාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට ඇයට අවස්ථාව හිමිවුණා.

කාව්‍ය තරගයකදී ඇයගේ ගායන හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් ඇය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ "ළමා මණ්ඩපය" ගුවන්විදුලි වැඩසටහනට හඳුන්වා දී තිබෙනවා.

එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවියට නව මංපෙතක් විවර වුණා.

අනතුරුව සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීමද ඇයගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යාමට මහත් පිටුබලයක් විය.

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරීමටද ඇයට අවස්ථාව හිමිවුණා.

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ නාරද දිසාසේකර මහතා සමඟ ඇය ගායනා කළ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ඇයගේ පළමු චිත්‍රපට ගීතය ලෙස සැලකෙන අතර ඉන්පසුව "සන්නාලියනේ", "රන් දහදිය බින්දු බින්දු", "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව" ඇතුළු ගීත හා නිර්මාණ රැසක් හරහා ඇය මෙරට රසික ජනතාවගේ හදවත් දිනාගත්තා.

ආදර ගීතවලට පමණක් සීමා නොවූ නන්දා මාලනී මහත්මිය ආගමික, ළමා සහ සමාජීය අර්ථයන් සහිත ගීත රැසක්ද මෙරට සංගීතයට දායාද කළ අතර 1990 වසරේ නිර්මාණය කළ "සින්දු හෝඩිය" ගීත ඇල්බමය දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය.

දශක ගණනාවක් පුරා සංගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලැබුවා.

හෙළ සංගීත කලාවට සුවිශේෂී ගායන ශෛලියක් සනිටුහන් කළ නන්දා මාලිනියගේ අභාවය ලාංකීය කලා ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි විශාල පාඩුවකි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk