2026-08-19 15:35:00 Hours

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට ලකුණු 165ක ජයක්


...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (19) සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පළමු ඉනිමට ලකුණු 462ක් රැස් කළ අතර, දෙව්දත් පඩික්කාල් ලකුණු 167ක් සහ කේ.එල්. රාහුල් ලකුණු 82ක් රැස් කළා.

ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමේදී ලකුණු 284ක් රැස් කළ අතර, සොනාල දිනූෂ ලකුණු 100ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් ලබා ගත්තා.

ඉන්දියාව දෙවැනි ඉනිමේදී ලකුණු 193ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නා.

එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 206ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සොනාල දිනූෂ ලකුණු 84ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 59ක් රැස් කළද, එය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නැහැ.

ඉන්දීය ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකයක් වූ මානව් සුතර් දෙවැනි ඉනිමේදී ලකුණු 55කට කඩුලු 6ක් දවාගත් අතර, තරගය පුරා කඩුලු 10ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය ලබන 23 වැනිදා කොළඹදී ආරම්භ වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk