2026-08-22 21:10 Hours

සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්


...

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තවදුරටත් රඳවා නොගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අගෝස්තු 20 වැනිදා යොමුකර ඇති එම ලිපියෙන් ඇය පෙන්වා දී ඇත්තේ, ජාතික රෝහලේ වෛද්‍ය රැකවරණයෙන් ඉවත් කර සුරේෂ් සලේ මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතළ අවදානමක් ඇති කළ හැකි බවයි.

දිගින් දිගටම රඳවා තබා ගැනීමට සහ රැඳවුම් තත්ත්වයන්ට විරෝධය පළ කරමින් ඔහු උපවාසයක් ආරම්භ කිරීමෙන් අනතුරුව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා 2026 ජූනි 7 වැනිදා ශ්‍රී ලංකා ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

එතැන් සිට ඔහු හෘද රෝග අංශයට අනුයුක්ත වෛද්‍ය විශේෂඥයින්ගේ අධීක්ෂණය සහ ප්‍රතිකාර යටතේ පසුවන බවද එම ලිපියේ සඳහන් වනවා.

හෘද ක්‍රියාකාරිත්වය අඛණ්ඩව අඩපණ වීම සහ බරපතළ දුර්වලතාව හේතුවෙන් සිය සැමියාට හෘද සැත්කමක් සිදුකර ඇති බවත්, එහිදී හෘදයට ස්වයංක්‍රීය හෘද ස්පන්දන නියාමකයක් (Pacemaker) සවි කර ඇති බවත් තමන්ට දැනුම් දී ඇති බව මනෝරි සලේ මහත්මිය පවසනවා.

එම තත්ත්වය හමුවේ සුරේෂ් සලේ මහතා මේ වනවිට ඉතා අවදානම් තත්ත්වයක පසුවන බැවින්, ඔහුට සමීප, අඛණ්ඩ සහ විශේෂිත වෛද්‍ය නිරීක්ෂණ හා ප්‍රතිකාර අත්‍යවශ්‍ය බවද ඇය අවධාරණය කර තිබෙනවා.

එබැවින් වත්මන් රැඳවුම් නියෝගය කල් ඉකුත් වූ පසු එය තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත්, ඔහු ජාතික රෝහලේ වෛද්‍ය රැකවරණයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට යළි පත් නොකරන ලෙසත් ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, කිසිදු නීත්‍යානුකූල විමර්ශනයකට බාධා කිරීමට, එය ප්‍රමාද කිරීමට හෝ මැදිහත් වීමට සිය සැමියාට හෝ පවුලේ කිසිදු සාමාජිකයෙකුට අදහසක් නොමැති බවද මනෝරි සලේ මහත්මියගේ ලිපියේ සඳහන් වනවා.

නීතියට අනුකූලව සිදුකරන ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය ලබාදීමට තමන් සහ පවුලේ සාමාජිකයින් සූදානම් බවද ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk