2026-08-22 20:42:00 Hours

හෙළ සංගීතයේ යශෝරාවය දැයෙන් සමුගනී


...

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද (22) පස්වරුවේ සදහටම දැයෙන් සමුගත්තා.

ඒ, ඇගේ දේහය රැගත් අවමංගල්‍ය රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අවසන් කටයුතු සිදුකිරීමත් සමගයි.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ නන්දා මාලනී මහත්මිය මියයන විට 82 වැනි වියේ පසුවූවාය. පසුගිය 20 වැනිදා නාවල පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූවා.

කුඩා කල සිටම ගායන කුසලතා ප්‍රදර්ශනය කළ ඇය නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඇයගේ ගායන හැකියාව හඳුනාගත් ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට ඇයට අවස්ථාව හිමිවුණා.

කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ 'ළමා මණ්ඩපය' වෙත හඳුන්වා දීමෙන් අනතුරුව ඇය ගායනා කළ 'බුදු සාදු' ගීතය ජනප්‍රිය වීමත් සමග ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර වුණා.

1961 වසරේ නිෂ්පාදනය කළ මෙරට පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන 'රන්මුතු දූව' චිත්‍රපටය වෙනුවෙන් නාරද දිසාසේකර මහතා සමග ඇය ගැයූ 'ගලන ගඟකි ජීවිතේ' ගීතය ඇයගේ පළමු චිත්‍රපට ගීතය වුණා.

දශක ගණනාවක් පුරා සංගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර හේතුවෙන් නන්දා මාලනී මහත්මිය මෙරට ජනතාව අතර අතිශය ජනාදරයට පත්වූ අතර, සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා.

'පෙරදා මහ රෑ', 'පහන් කන්ද', 'සත්‍යයේ ගීතය', 'පවන ගී එකතුව', 'හේමන්තයේදී', 'තාරුකා ඇස්', 'පාවෙනා', 'සින්දු හෝඩිය', 'කිඳුරියකගේ විලාපය', 'පෙම්බර ලංකා', 'අරලිය ලන්දට' සහ 'ඔබයි රම්‍ය සඳ කිරණ' ඇතුළු ගී රැසක් ඇය මෙරට සංගීත රසිකයින් වෙත දායාද කළා.

නන්දා මාලනී මහත්මියගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර, දේශපාලනඥයින්, කලාකරුවන් සහ මහජනතාව ඇතුළු විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.

ඇයගේ දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරුවේ සිදුකිරීමෙන් අනතුරුව පස්වරු 3.30ට පමණ අවමංගල්‍ය රිය පෙරහැර නාවල සිට බොරැල්ල දක්වා ගමන් ආරම්භ කළා.

නාවල සිට බොරැල්ල දක්වා මාර්ගය දෙපස රැස්ව සිටි විශාල ජනතාවක් නන්දා මාලනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.

පස්වරු 4.30ට පමණ දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආ අතර, ඇයගේ අවසන් කැමැත්ත අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණකථන පැවැත්වීමකින් තොරව අවසන් කටයුතු සිදුකෙරුණා.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය පොහොසත් කළ නන්දා මාලනී මහත්මියගේ නික්ම යාමත් සමග මෙරට සංගීතයේ යුගයක්ද අවසන් වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk