2026-10-22 13:22:00 Hours

අධිකරණයට අපහාස කළා යැයි පොලිස්පතිට නඩු


...

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝග නොතකා හැරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක්කර ඇති බවත්, අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කරන බවක් පෙනී යන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මත චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය විසින් පවරා තිබූ නඩු දෙකක ගොනුද අභියාචනාධිකරණයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර තිබෙනවා.

අදාළ පුද්ගලයාට එරෙහිව එම නඩු දෙක පවරා තිබුණේ එකම දිනයේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මතයි. එම නඩු පවරා තිබූ ආකාරය නිස්සාර බවට මීට පෙර තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබුණා.

එසේ නොකරන්නේ නම්, අහිංසක පුරවැසියන්ට එරෙහිව නිස්සාර නඩු පැවරීමෙන් වළකින ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියම කර තිබුණා.

අදාළ නඩු දෙකෙන් එක් නඩුවකදී චාමර චතුරංග මාරසිංහ මහතා චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට දඩයක් නියම කර තිබූ අතර, ඉන් සුළු වේලාවකට පසු කැඳවූ දෙවැනි නඩුවද එකම පුද්ගලයාට එරෙහිව පවරා ඇති බව අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව, පුරවැසියන්ට පීඩාකාරී වන අයුරින් නඩු පැවරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් කරුණු විමසීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබුණත්, ඔවුන් කිසිවෙකුත් අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

පසුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන්වරයෙකු අධිකරණයට දැනුම් දී ඇත්තේ, අදාළ වැටලීමේදී සැකකරු සමඟ තවත් පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බවත්, චාමර චතුරංග මාරසිංහ මහතාට එරෙහිව චෝදනා වැරදි ලෙස ගොනුකර ඇති බවත්ය.

ඒ අනුව, අදාළ නඩු දෙකෙන් එක් නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බවත්, අනෙක් නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසත් පොලිස් සැරයන්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk