2026-08-12 12:32:00 Hours
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ අද (12) පස්වරු 1.00ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර නීති සංවිධාන කිහිපයක්ද විරෝධය පළ කර තිබෙනවා.
එවන් පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ පැවති සාකච්ඡාවකදීද මේ පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුවේ නියෝජිතයින් පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික විධායක කමිටු රැස්වීම පෙරේදා (10) පස්වරුවේ පැවැත්වී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව සඳහා නියෝජිතයින් සහභාගී කරවීමට යෝජනා වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk