2026-09-30 10:17:00 Hours

විමල්ගේ ප්‍රකාශයට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ CIDයට


...

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබෙමින් පවතින බව නීතිපතිවරයා ඊයේ (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මේ බව දැනුම් දුන්නා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන සිදුකරන බවත්, ඒ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 02 වෙත කරුණු වාර්තා කර ඇති බවත් ඔහු සඳහන් කළා.

විමර්ශනය සඳහා නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයේ පිටපතක් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබාදෙන ලෙසද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, එම නියෝගයේ පිටපතක් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබාදෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් පිළිබඳව විමල් වීරවංශ මහතා පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවති පොදු පෙරමුණු රැස්වීමකදී කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව අදාළ මාධ්‍ය ආයතන 7කට සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබූ අතර, එම දර්ශන මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබාදෙමින් පවතින බව අද අධිකරණයට දැනුම් දුන්නා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk