2026-09-30 14:48:00 Hours

2027 අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා


...

2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 7 වැනිදා සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම දින වකවානු සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත අතර, තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට පැවැත්වෙනවා.

අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60ක් සහ විපක්ෂයට සියයට 40ක් ලෙසත්, කාරක සභා අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙසත් කාලය වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk