2026-08-27 16:48:00 Hours

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ විදේශිකයින් අතර ශ්‍රී ලාංකිකයන් නැහැ


...

නේපාලයේ රසුවා ප්‍රදේශයට බලපා ඇති හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව සිටින විදේශිකයින් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

එම මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

වාර්තාවට අනුව රටවල් 32කට අයත් විදේශිකයින් 517 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව සිටින අතර, මෙම ආපදාව හේතුවෙන් අතුරුදන්ව ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 644කි.

ඒ අතර නේපාල ජාතිකයින් 127 දෙනෙකු සිටින බවද එම වාර්තාවේ දැක්වෙනවා.

අතුරුදන්වූ විදේශිකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 178කි. මීට අමතරව අමෙරිකානු ජාතිකයින් 65ක්, යුක්‍රේන ජාතිකයින් 53ක්, මැලේසියානු ජාතිකයින් 51ක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයින් 35ක් අතුරුදන්ව ඇති බව සඳහන් වනවා.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක් සහ කැනේඩියානු ජාතිකයින් 25ක්ද අතුරුදන්ව සිටින බව නේපාල සංචාරක මණ්ඩලය පවසනවා.

සිංගප්පූරු ජාතිකයින් 9ක්, ජර්මානු සහ රුසියානු ජාතිකයින් 8 බැගින්, ලැට්වියානු සහ දකුණු අප්‍රිකානු ජාතිකයින් 6 බැගින්, ජපාන සහ නවසීලන්ත ජාතිකයින් 5 බැගින් ද අතුරුදන්ව ඇති බව වාර්තාවේ දැක්වෙනවා.

ප්‍රංශ ජාතිකයින් 4ක්, බෙල්ජියානු සහ ස්පාඤ්ඤ ජාතිකයින් 3 බැගින්ද අතුරුදන්ව සිටින බව සඳහන්.

ඉතාලිය, අයර්ලන්තය, කසකස්ථානය, නෙදර්ලන්තය සහ පෘතුගාලය යන රටවලින් පුද්ගලයින් දෙදෙනා බැගින්ද, තවත් රටවල් කිහිපයකින් එක් අයෙකු බැගින්ද අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මේ අතර අතුරුදන්වූ සියලු පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් සහ සහන කටයුතු ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් එක්ව තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බව නේපාල සංචාරක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk