2026-08-24 20:27:00 Hours
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ඇතුළු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 21 දෙනෙකු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය සහ 1992 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව හිටපු ක්‍රිකට් නායකයින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් වෙත ලිපියක් යොමු කරමින් ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉම්රාන් ඛාන් පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කර රෝහල්ගත කරන ලෙස නියෝග කර තිබුණද, එම නියෝගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොමැති බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
වෛද්‍ය මණ්ඩලයට ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරුන් සහ ඔහුගේ සොහොයුරිය වන වෛද්‍ය උස්මා ඛාන් ද ඇතුළත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ බව එම ලිපියේ සඳහන් වනවා.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන් රෝහලේ රැඳී සිට ඇත්තේ පැය කිහිපයක් පමණක් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වෛද්‍ය මණ්ඩලය වෙනුවට රජය විසින් පත් කළ කණ්ඩායමක් ඔහුව පරීක්ෂා කර "වෛද්‍යමය වශයෙන් සුදුසු" බවට ප්‍රකාශ කිරීමෙන් පසු යළි අඩියාලා බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවත් හිටපු ක්‍රිකට් නායකයින් එම ලිපියෙන් පෙන්වා දෙනවා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වෛද්‍ය මණ්ඩලයට, ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරුන්ද ඇතුළත්ව, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ සහ ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.
විශේෂයෙන්ම ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසෙහි පෙනීම අහිමිවීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළි ස්ථාපිත කළ සතිපතා පවුලේ සාමාජිකයින්ගේ හමුවීම් කිසිදු බාධාවකින් හෝ පරිපාලන ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙසත්, වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව නිර්දේශ කරන ඕනෑම ප්‍රතිකාරයක් ප්‍රමාදයකින් තොරව ලබාදෙන ලෙසත් හිටපු ක්‍රිකට් නායකයින් ඉල්ලා තිබෙනවා.
73 හැවිරිදි ඉම්රාන් ඛාන් මේ වනවිට වසර තුනකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින බවද එම ලිපියේ සඳහන් කර ඇති බව සඳහන්.
මෙම ලිපියට මයිකල් ඇතර්ටන්, ඇලන් බෝඩර්, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, බෙලින්ඩා ක්ලාක්, ඇලස්ටෙයාර් කුක්, සුනිල් ගවස්කාර්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඩේවිඩ් ගවර්, නසාර් හුසේන්, ක්ලයිව් ලොයිඩ්, කපිල් දේව්, අර්ජුන රණතුංග, ඇන්ඩෲ ස්ට්‍රවුස්, ස්ටීවන් වෝ සහ ජෝන් රයිට් ඇතුළු හිටපු ක්‍රිකට් නායකයින් 21 දෙනෙකු අත්සන් කර තිබෙනවා.
ඉම්රාන් ඛාන් වෙනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් නිකුත් කළ මෙවැනි ලිපියක් මෙය මාස හයක් තුළ නිකුත් කළ දෙවැනි අවස්ථාව වන අතර, පළමු ලිපියට හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු අත්සන් කර ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk