2026-08-26 21:00:00 Hours

රාජකාරී වෙලාවේදී දුම්රිය සේවකයන්ට Social Media තහනම් වෙයි


...

රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත කිරීම වැළැක්වීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් රාජකාරී වේලාවන් තුළ මෙන්ම රාජකාරියට අදාළ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස බලපෑමට ලක්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

නව චක්‍රලේඛයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන්ට හෝ මාධ්‍ය වෙත ලබාදීමට අවසරය හිමිවන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණි.

එමෙන්ම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk