2026-08-25 21:54:00 Hours

Porsche හි MHP ඒකකය TCS සමාගම මිලදී ගනී


...

ඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Tata Consultancy Services (TCS) විසින් ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche AG සමාගමට අයත් ‘MHP’ මෝටර් රථ සහ උපදේශන ඒකකය මිලදී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

TCS සමාගම සහ MHP වෙනුවෙන් යුරෝ බිලියන 1.25ක පස් අවුරුදු ආයෝජනයක් සිදුකිරීමට Porsche සමාගම එකඟ වී ඇති අතර, එම ගිවිසුමේ එක් පියවරක් ලෙස මෙම ගනුදෙනුව සිදුකිරීමට නියමිතයි.

ව්‍යාපාරික උපදේශන සහ මෘදුකාංග පාදක කරගත් මෝටර් රථ තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂඥතාවක් ඇති MHP සමාගමේ ව්‍යවසාය වටිනාකම යුරෝ මිලියන 320ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

ගනුදෙනුව ඉදිරි මාස 3ත් 4ත් අතර කාලය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වනවා.

වසර පහක ගිවිසුම යටතේ Porsche සමාගමේ ඉංජිනේරු, නිෂ්පාදන, මෙහෙයුම් සහ පාරිභෝගික සේවා අංශ සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කිරීම ඇතුළු නවීන මෝටර් රථ තාක්ෂණ සහ මෘදුකාංග පද්ධති සංවර්ධනය කිරීමට TCS සමාගම කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර Porsche සමාගමේ මව් සමාගම වන Volkswagen සමූහය චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ තරගකාරීත්වය, තීරුබදු සහ විදුලි වාහන නිෂ්පාදන වියදම් ඉහළ යාම හමුවේ පිරිවැය අඩු කරගැනීමට සහ ව්‍යාපාරික ව්‍යුහය සරල කිරීමට දැඩි පීඩනයකට මුහුණදී සිටින බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk