2026-08-27 12:34 Hours
මහනුවර ඇසළ පෙරහැර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා.
අද (27) පස්වරු 6.43ට ආරම්භ වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 2යි මීටර් 150ක දුරක් ගමන් කර නැවත ශ්රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතයි.
ඒ අනුව පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය ආශ්රිතව රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය හරහා මහනුවර නගරයට පැමිණිය හැකියි.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය සහ යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර මීරමක්කම් පල්ලිය අසලින් තිලක් රත්නායක මාවතට පිවිසිය හැකිය.
කටුගස්තොට දෙසට පිටවන වාහන සඳහාද පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
තැන්නේ කුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ ගමන් කළ හැකියි.
එමෙන්ම නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන සඳහා ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ රැජිණ හෝටලය අසලින් සංඝරාජ මාවතට පිවිසීමට අවස්ථාව සලසා තිබෙනවා.
බෝගම්බර වටරවුම, ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහාද සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය සහ තැන්නේ කුඹුර දෙසට ගමන් කළ හැකියි.
පල්ලිය පාර දෙපසටම වාහන ගමන් කළ හැකි පරිදි වෙන් කර ඇති අතර, කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළුවීමට සහ නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර භාවිත කළ හැකි බව පොලිසිය සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk