2026-08-27 17:48 Hours

ජ්‍යෙෂ්ඨයන්ට පාඩම් කියා දී කෝඩුකාරයෝ මව්බිමේ නම බේරා දෙති


...

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් වුණා.

තරගය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් රැස්කරගෙන සිටි අතර, ඒ අනුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 216ක් ඉදිරියෙන් පසුවුණා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ශක්තිමත් කළ සොනාල් දිනූෂ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස නොදැවී ලකුණු 133ක් රැස් කළා.

පන්දු 264කට මුහුණ දෙමින් මිනිත්තු 420ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුණා.

පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් සහ කේෂර නුවන්ත ලකුණු 46ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට දායක වූ අතර ටෙස්ට් වරම් හිමිකරගත් නවක පිතිකරු කේෂර නුවන්ත සහ සොනාල් දිනූෂ එක්ව 7වන කඩුල්ල වෙනුවෙන් පන්දු 246කදී ලකුණු 112ක සබඳතාවක් ගොඩනැගුවා.

අනතුරුව 8වන කඩුල්ල වෙනුවෙන් ළහිරු කුමාර සමඟ එක්වූ සොනාල් දිනූෂ ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. එහිදී ළහිරු කුමාර පන්දු 90කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබාගනිමින් කඩුල්ල ආරක්ෂා කරගැනීමට ලබාදුන් දායකත්වය ලබා දුන්නා.

අද (27) දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා සිටි අතර, සොනාල් දිනූෂ ලකුණු 7ක් සහ කේෂර නුවන්ත ලකුණු 3ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

අවසන් දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 3ක් පමණක් අහිමි කරගනිමින් තවත් ලකුණු 200ක් ඉනිමට එක් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉන්දියාව ජයගැනීම හේතුවෙන් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය සොනල් දිනූෂ දිනාගත් අතර තරඟාවලියේ සම්මානය දෙව්ඩත් පඩික්කාල් දිනාගනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk