2026-08-24 12:06:00 Hours

සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්


...

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති එම ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ, සිය පුතු වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය මෙන්ම පවුල සමඟ ගත කළ හැකි වටිනා වසරද කැප කළ බවයි.

වයෝවෘද්ධ මවක් ලෙස තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටිනු දැකීම දැඩි වේදනාවක් බවද ඇය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බව සඳහන් කරන ඇය, චෝදනා තිබේ නම් ඒවා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර සාක්ෂි මත සත්‍යය අනාවරණය කරන ලෙසද ඉල්ලා සිටිනවා.

එහෙත් විමර්ශන සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මවක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කර ඇත.

විමර්ශන සාක්ෂි මත සිදුවිය යුතු අතර, රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවිය යුතු බවද සුරේෂ් සලේ මහතාගේ මව සිය ලිපියේ අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඇය සිය ලිපියෙන් ඉල්ලා ඇති බව සඳහන්.

විශේෂ වරප්‍රසාදයක් නොව, යුක්තිය, මනුෂ්‍යත්වය සහ සාධාරණ අවස්ථාවක් පමණක් තමන් අපේක්ෂා කරන බවද ඇය සඳහන් කර තිබෙනවා.

අවසානයේ ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තම පුතුට නිදහසේ නීතිය ඉදිරියේ මුහුණදීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk