2026-08-25 09:41 Hours
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ අද (25) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් අලුයම 5.20ට ඔහු කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසිනි.
ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා ඔහු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.
‘බස් ලලිත්’ට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇති බව වාර්තා වනවා.
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් රතු නිවේදනය ලබාගෙන ඇති අතර, මනුෂ්‍ය ඝාතන චෝදනාවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මගින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.
එමෙන්ම, 2021 සැප්තැම්බර් 20 වැනිදා නෙලුන්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ද ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
2022 ඔක්තෝබර් 16 වැනිදා පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ‘බස් ලලිත්’ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk