2026-08-24 20:39:00 Hours

කොළඹ මෙට්‍රෝ බස් සේවාව තවත් පුළුල් කිරීමට රජයේ අවධානය


...

කොළඹ මෙට්‍රෝ බස් සේවාව පුළුල් කරමින් දැනට පවතින බස් රථ 121ම යොදා ගනිමින් වසරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එම ව්‍යාපෘතිය සැප්තැම්බර් මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

බස් රථ 10ක් යොදා ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති මෙට්‍රෝ බස් සේවාව හරහා ජනතාවට සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බවත්, එය තවමත් නියමු ව්‍යාපෘතියක් ලෙස සැලකිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ලබන වසරේදී ගාල්ල, මහනුවර සහ යාපනය යන නගරවලටද මෙට්‍රෝ බස් සේවාව හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති බවයි.

පෞද්ගලික වාහන භාවිත කරන ජනතාව පොදු ප්‍රවාහනය වෙත යොමු කිරීම මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර කොළඹ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා බස් නැවතුම් ස්ථාන 240ක් පමණ හඳුනාගෙන ඇති අතර, එම ස්ථාන ආශ්‍රිතව රථවාහන නවතා මෙට්‍රෝ බස් සේවාව භාවිත කළ හැකි "Park and Ride" ක්‍රමවේදයක් හඳුන්වාදීමටද සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හඳුනාගත් බස් නැවතුම් ආසන්නයේ වාහන නවතා තැබීමේ පහසුකම් ස්ථාපිත කරන ලෙස අදාළ පළාත් පාලන ආයතන, ව්‍යාපාරිකයින් සහ ඉඩම් හිමියන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

එම වාහන නැවැත්වීමේ ස්ථාන සකස් කිරීම සඳහා මූලික මාර්ගෝපදේශ ලබාදීමට මෙට්‍රෝ ආයතනය කටයුතු කරන අතර, ඒවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම අදාළ පළාත් පාලන ආයතන මගින් සිදුකිරීමට නියමිතයි.

මේ අතර ඉදිරි මාස කිහිපය තුළදී හඳුනාගත් මෙට්‍රෝ බස් නැවතුම් ආසන්නයේ ලියාපදිංචි කර ඇති රථවාහන නැවැත්වීමේ ස්ථාන සහ ඒවායේ පවතින ඉඩකඩ තත්‍ය කාලීනව පෙන්වන යෙදවුමක් හඳුන්වාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව නිවසින් පිටත්වීමට පෙර වාහන නැවැත්වීමේ ස්ථානවල ඉඩකඩ පරීක්ෂා කිරීමට මෙන්ම, යම් ස්ථානයක් පිරී ඇත්නම් විකල්ප ස්ථානයක් හඳුනා ගැනීමටද ජනතාවට හැකියාව ලැබෙනු ඇති.

වාහන නැවැත්වීමේ ගාස්තු අදාළ පළාත් පාලන ආයතන මගින් තීරණය කරන අතර, ඒ සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම් ලබාදීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk