2026-09-07 14:16:00 Hours
ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට ලබාදී තිබූ පහසුකම ලබන 15 වැනිදා සිට අහෝසි කිරීමට තායි රජය තීරණය කර තිබෙනවා.
තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ සංශෝධිත වීසා නිදහස් කිරීමේ සහ වීසා ඔන් ඇරයිවල් ක්‍රමවේදයට අදාළ නව නියෝග පසුගිය අගෝස්තු 31 වැනිදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ බවයි.
එම නව නියෝග සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
තායි කැබිනට් මණ්ඩලය පසුගිය මැයි මාසයේදී අනුමත කළ වීසා ප්‍රතිපත්ති සමාලෝචනයකට අනුව මෙම සංශෝධන සිදුකර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ දින 60ක වීසා නිදහස් කිරීමේ ක්‍රමය අහෝසි වන අතර, කෙටි කාලීනව වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අවසර ලබාදෙන රටවල් ලැයිස්තුවද සංශෝධනය කිරීමට නියමිත බව සඳහන්.
ජාතික ආරක්ෂාව, සංචාරක කර්මාන්තය, ආර්ථික අවශ්‍යතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම තායිලන්තයේ විද්‍යුත් වීසා ක්‍රමවේදය ලබාගත හැකිවීම ඇතුළු කරුණු සලකා මෙම සමාලෝචනය සිදුකර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදා සිට තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන් එරටට යාමට පෙර අදාළ වීසා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වනවා.
වීසා අයදුම්පත් තායිලන්තයේ නිල මාර්ගගත e-Visa පද්ධතිය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවද තායි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කොළඹ පිහිටි තායි රාජකීය තානාපති කාර්යාලය වෙත පැමිණ වීසා අයදුම්පත් භාරගැනීම සිදුනොකරන අතර, අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ අදාළ ගෙවීම් සියල්ල මාර්ගගතව පමණක් සිදුකළ යුතු බව දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක වීසා නිදහස් කිරීමේ ක්‍රමය යටතේ සැප්තැම්බර් 15 වැනිදාට පෙර තායිලන්තයට ඇතුළුවන ශ්‍රී ලාංකික සංචාරකයින්ට ඔවුන්ට ලබාදී ඇති අවසර කාලය අවසන් වනතුරු එරට රැඳී සිටීමට අවසර හිමිවන බවද තායි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk