2026-09-07 08:29:00 Hours
කිසිදු හේතුවක් මත ජාතික මැතිවරණ කල් නොදමා නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බුලත්සිංහල ප්රදේශයේ ඊයේ (06) පැවැති ජන රැළියකට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දමා ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වන බවට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්රකාශවලට ප්රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ජනමත විචාරණයකදී ජනතාවගේ මතය ප්රධාන වශයෙන් දෙපිලකට බෙදී යා හැකි නමුත්, ජනාධිපතිවරණයකදී එම මතය තවත් පාර්ශ්ව කිහිපයක් අතර බෙදී යන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එම තත්ත්වයෙන් වාසියක් ලබාගැනීමට නම් ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවද අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
මේ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය බාධා ඉවත් වූ වහාම එම මැතිවරණයද පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
"සමහර අය කියනවා, අපි ලෑස්ති වෙන්නේ ජනාධිපති ඡන්දය කල් දාන්නලු. ජනමත විචාරණයක් තියෙන්න යනවාලු. දේශපාලන තර්ක ඥානය ගැන කිසිම අදහසක් නැති අය. ජනමත විචාරණයක් අරන් ආවොත්, දෙකට බෙදෙනවා. කළයයි, ලාම්පුවයි. ජනාධිපතිවරණයක් අරන් ආවොත්, හතර පහට බෙදෙනවා. එහෙම තියෙද්දී අපි ජනාධිපතිවරණය ගේනවා ද?
දේශපාලනය ගැන පොඩි විඥානයක් තියෙන අය දන්නවා. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණ ගේන්නේ නැහැ. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණයක් අරන් ආවොත් මොකද වෙන්නේ? ඡන්දය කල් දාන්න එපා. ඡන්දය කල් දාන්න කියලා පෙරමුණු දෙකක් හැදෙනවා. නයි, පොළගු, මුගටි සේරම නගිනවා ඡන්දය කල් දාන්න එපා කියන තැනට. හැබැයි ජනාධිපතිවරයක් ආවොත්, එහෙම එකතු වෙන්න බැහැ. හැමෝම ඔටුන්න බලාගෙන ඉන්නේ. නියමිත පරිදි මහමැතිවරණය ජනාධිපතිවරණය පවත්වනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි ජනතාවට බය වෙන්න ඕනේ ද? අපි ජනතාව ළගට එනවා."
මේ අතර යෝජිත 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
යෝජිත ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව නුදුරේදීම ලබාදෙනු ඇති බවට මාධ්ය වාර්තා පළවී තිබෙනවා.
එම තීන්දුව ලැබීමෙන් අනතුරුව 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
"අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්ය ව්යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට ගේනවා අපි. එතකොට මොනවා වෙන්නේ? කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත් වෙනවා. එම්බසී ගාණේ දුවනවා. ලෝකයේ සංවිධානවලට ලියනවා.
මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ, ජනතා වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 සංශෝධනය ගැන ඉක්මනින් තීන්දුව ලැබෙයි. මං දැක්කා පත්තරවල 18 වගේ දවසක් වාර්තා කරලා තිබුණා. තීන්දුව ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාලා ඉක්මනින් සම්මත කරගන්නවා.
අපිට මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්ය බිඳින්න ඕනේ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk