2026-09-01 10:27:00 Hours
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගි වීම සඳහා දෙරටේ නායකයින් කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරට පැමිණ සිටින අතරතුර මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පසුගිය මැයි මාසයේදී රුසියානු ජනාධිපතිවරයා සිදුකළ සාර්ථක චීන රාජ්‍ය සංචාරයේදී ඇතිකරගත් එකඟතාවන්ට අනුව දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව සහ හුවමාරු කටයුතු යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බවයි.
ඉදිරියේදී දෙපාර්ශ්වයේ පොදු උත්සාහයන් යටතේ චීන-රුසියානු සබඳතා වඩාත් ශක්තිමත් සහ ස්ථාවර ලෙස වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බවද ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබෙනවා.
වර්තමාන ලෝකය සංකීර්ණ වෙනස්කම්වලට ලක්වෙමින් පවතින අතර ජාත්‍යන්තර තත්ත්වයන්ට අවිනිශ්චිත සාධක රැසක් බලපා තිබුණද, සාමය, සංවර්ධනය, සහයෝගිතාව සහ පොදු ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝකවාසීන්ගේ අපේක්ෂාව වෙනස් වී නොමැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ගෝලීය පාලනය ඉදිරියට ගෙනයාම සඳහා රුසියාව ඇතුළු ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ අතර, ව්ලැදිමීර් පුටින් මහතා සඳහන් කර ඇත්තේ සංකීර්ණ හා වෙනස්වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ රුසියාව සහ චීනය දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් ලෝකයට ආදර්ශයක් සපයමින් සිටින බවයි.
වෙළඳ, බලශක්ති, කාර්මික, ප්‍රවාහන සහ විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රවල චීනය සමඟ සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාමට රුසියාව සූදානම් බවද ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු කලාපීය සහ ජාත්‍යන්තර සංවිධානවල බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ චීනය සමඟ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට රුසියාව අපේක්ෂා කරන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මෙහිදී කලාපීය සහ ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන්ද චීන සහ රුසියානු නායකයින් අතර අදහස් හුවමාරු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk