2026-09-07 13:55:00 Hours

නාමල්ට නිවසින් ආහාර ලබාදීමට අවසර


...

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී ඇති බවයි.

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළා.

ඒ අනුව ඔහු රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා දිනකට පුද්ගලයින් තිදෙනෙකුට අවසර ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ඇති බව වාර්තා වනවා.

මේ අතර, ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නාමල් රාජපක්ෂ මහතාට සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය වෙත ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන බව වාර්තා වනවා.

අදාළ ලිපිය හෙට (08) දිනයේදී පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත යොමු කිරීමට නියමිත බව සඳහන්.

නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියද, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට නීතිමය බාධාවක් නොමැති බව නීති අංශ පෙන්වා දෙන බවද එම වාර්තාවේ සඳහන් වනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk