2026-09-05 20:40:00 Hours

ඉරාන යුද උණුසුම හමුවේ ඇමෙරිකාවේ ඩීසල් මිල වාර්තාගත ලෙස ඉහළට


...

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන යුදමය මෙහෙයුම් හමුවේ ඇමෙරිකානු ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඇමෙරිකාවේ ඩීසල් මිල ඉතිහාසයේ ඉහළම අගය දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වනවා.

ඇමෙරිකාව තුළ ඩීසල් ප්‍රධාන වශයෙන් ලොරි රථ, දුම්රිය, නාවික යාත්‍රා සහ බස් රථ සඳහා මෙන්ම කෘෂිකාර්මික හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල භාවිත වන බර යන්ත්‍රෝපකරණ සඳහා යොදා ගැනේ.

ඇමෙරිකානු රථවාහන සංගමයේ දත්තවලට අනුව, මීට වසරකට පෙර ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 3.71ක්ව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 5.85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වූ සමයේ වාර්තා වූ පෙර ඉහළම මිල ද අභිබවා යාමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පෙබරවාරි මාසයේ අගභාගයේදී ඉරාන ගැටුම ආරම්භ වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම, ඇමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත.

මේ අතර, ඉහළ යන ඉන්ධන පිරිවැයට පිළියමක් ලෙස වෙනිසියුලාව සමඟ ඇති කරගත් විශේෂ තෙල් ගිවිසුමක් හරහා ඇමෙරිකානු ජනතාවට සහනදායී මිලකට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ ඇමෙරිකානු විශේෂ බලකා මෙහෙයුමකින් වෙනිසියුලාවේ හිටපු නායක නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගත් බවද වාර්තා වනවා.

වෙනිසියුලානු අතුරු ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගුඑස් පවසා ඇත්තේ පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළ නව ගිවිසුම යටතේ ප්‍රධාන තෙල් නිධි 17ක් සංවර්ධනය කිරීමට නියමිත බවයි.

එම තෙල් නිධිවලින් බොරතෙල් බිලියන 65ක පමණ ධාරිතාවක් පවතින අතර, ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව සඳහන්.

එමඟින් වෙනිසියුලාවට ඩොලර් බිලියන 209කට වැඩි බදු ආදායමක් ලැබෙනු ඇති බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අදාළ ඒකාබද්ධ ව්‍යාපෘතියේ සියයට 55ක පාලන බලයක් ඇමෙරිකානු රජය සතුව තබා ගන්නා බව ඇමෙරිකානු බලධාරියෙකු මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයට ආයෝජන පැමිණීමට දීර්ඝකාලීනව බලපා ඇති ගැටලු සඳහා මෙම නව ගිවිසුම හරහා සැබෑ විසඳුමක් ලැබේද යන්න සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයින් සැක පළ කර තිබෙනවා.

එමෙන්ම, ලොව පුරා පරිභෝජනය වන බොරතෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් සැපයුම දැඩි ලෙස සීමා වී තිබීමද ඉන්ධන මිල ඉහළ යාමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk