2026-09-04 14:38:00 Hours
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහතා අද (04) පෙරවරු 9.15ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත්තේ ප්‍රශ්නගත එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පැය කිහිපයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානා 06ක් සහ A350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් මුදලක් ලබාගත් බවට එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම ආරම්භ කළ විමර්ශනයකට අදාළව කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර පසුව ඇප මත මුදාහැරුණා.
ඇප මත සිටියදී ඔහු ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර, එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළා.
මේ අතර, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර ඇති නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුද නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට සහාය දැක්වීම සඳහා ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයින් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී තිබූ බව සඳහන්.
එවැනි පසුබිමක් තුළ නාමල් රාජපක්ෂ මහතාගෙන් අද එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk