2026-08-31 10:35:00 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට (RTI) යටත් වන බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
ඒ අනුව, මහජනතාව විසින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
පසුගිය පාලන සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනතට යටත් නොවන බව පවසමින් මහජනතාව ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බව එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ එම ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් නව පාලනය යටතේ ඉහළ පාරදෘශ්‍යභාවයකින් කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.
ක්‍රිකට් ආයතනයේ පාලනය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින සැක සංකා දුරු කිරීමට තොරතුරු මහජනතාවට විවෘත කිරීම වැදගත් බවත්, එම තොරතුරු ප්‍රසිද්ධියේ ලබාගත හැකි නම් බොහෝ චෝදනා සහ ගැටලු ඇති නොවන බවත් එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළා.
මේ අතර, ක්‍රිකට් පරිවර්තන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය, පාලන ව්‍යූහය සහ සුදුසුකම් ලත් පුද්ගලයන් සුදුසු තනතුරුවල සිටින්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.
ඔහු පැවසුවේ පාර්ශවකරුවන් රැසක් සමඟ සාකච්ඡා කර සකස් කළ නව ව්‍යවස්ථාව මේ වනවිට රජයට භාරදී ඇති අතර, එය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
දේශපාලන බලපෑම්වලින් තොර යහපාලනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ තහවුරු කිරීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
තවද පාසල් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම, ක්‍රීඩාංගණ සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබෙනවා.
මෙම ප්‍රතිසංස්කරණ සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, සිදත් වෙත්තිමුණි සහ රොෂාන් මහානාම යන මහත්වරුන්ගේ දායකත්වය ලැබෙන බවද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළා.
මේ අතර, ජාතික කණ්ඩායම් තේරීම් කටයුතු සඳහා දේශපාලනඥයන්ගේ හෝ පරිපාලකයන්ගේ කිසිදු බලපෑමක් සිදු නොවන බව තහවුරු කළ ඔහු, ඉදිරියේදී ශ්‍රී ලංකාවට වැඩි ටෙස්ට් තරග සංඛ්‍යාවක් ලබාගැනීම සඳහාද සාකච්ඡා ආරම්භ කරන බව වැඩිදුරටත් පැවසුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk