2026-09-01 13:20:00 Hours
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ නඩුවකින් වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (01) මෙම දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීම සම්බන්ධයෙන් පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
අදාළ ආහාර සැපයීම සඳහා රාජ්‍ය සමාගමක් වන ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මාරවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කේටරින් ආයතනයකට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.
එම මුදල ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතා ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළඹවා ඇති බවටද අධිචෝදනාවල සඳහන් වුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර, එහිදී හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk