2026-08-29 15:09:00 Hours

ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකා ගැන රජයෙන් නිවේදනයක්


...

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන ඉරාන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අදාළ නෞකා ශ්‍රී ලංකාවේ භෞමික සීමාවෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගකීමක් නොමැති බවත්, එම නෞකාවලට කිසිදු පහසුකමක් සපයන්නේ නොමැති බවත්ය.

මේ අතර තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව ‘TankerTrackers’ වෙබ් අඩවිය පවසනවා.

අමෙරිකාව විසින් පනවා ඇති නාවික බාධකය හේතුවෙන් එම නෞකාවලට ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බව සඳහන්.

ඒ අනුව ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13ක් පමණ සහ සම්බාධක මගහරින නෞකා ලෙස සැලකෙන ‘Shadow Fleet’ නෞකා කිහිපයක් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ප්‍රදේශයේ නැංගුරම්ලා ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

එම නෞකා මේ වනවිට ඉන්ධනවලින් තොරව පවතින බවද ‘TankerTrackers’ පෙන්වා දෙනවා.

මේ අතර, පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 19ක් පමණ දුරින් තිබූ ‘Irish Dana’ නෞකාවට අමෙරිකානු සබ්මැරීනයක් ප්‍රහාර එල්ල කර ගිල්වා දැමූ බවට පළවූ වාර්තා පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාව ආශ්‍රිතව නැංගුරම්ලා ඇති නෞකාවලටද ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බව එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ‘TankerTrackers’ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර නීතිය අනුව මධ්‍යස්ථ රටක වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදෙන භෞමික මුහුදු සීමාව තුළ රැඳී සිටින නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාවට අවසර නොමැති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk