2026-09-01 20:45:00 Hours
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොලැබුණු බවයි.
වැඩිදුර විමර්ශන සඳහා මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
45 හැවිරිදි චූලා පද්මේන්ද්‍ර මහත්මිය පසුගිය 31 වනදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබුණා.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවයි.
පසුගිය 30 වනදා බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ඇය විසින් සංවිධානය කළ උත්සවයකින් අනතුරුව 31 වනදා අලුයම ඇය එම ව්‍යාපාරිකයාගේ පිළියන්දල පිහිටි නිවසට පැමිණ තිබෙනවා.
අනතුරුව ඇය නිවසේ කාමරයක නින්දට ගොස් ඇති අතර, එදින දහවල් 12.45ට පමණ ඇය අවදි කිරීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව 1990 ගිලන් රථ සේවය කැඳවා ඇති අතර, සෞඛ්‍ය සේවකයන් සිදුකළ පරීක්ෂාවේදී ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇති බව සඳහන්.
මේ අතර, ඇය නිදා සිටි ඇඳ ඇතිරිල්ලක ලේ පැල්ලමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම මියගිය නිරූපණ ශිල්පිනියගේ මවද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව මරණය සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය සිද්ධිය වූ ස්ථානය සහ මළ සිරුර පරීක්ෂා කර තිබෙනවා.
අධිකරණ නියෝග මත කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී බී.සී.එම්. රුද්‍රිගු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී විවෘත තීන්දුවක් ලබාදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk