2026-09-02 08:01:00 Hours
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද (02) යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ පෙත්සම් සලකා බැලීම ඊයේ (01) පෙරවරු 10.00ට පමණ ආරම්භ වූ අතර, රාත්‍රී 10.30 පමණ වනතෙක් එය සිදුකළ බව අධිකරණ වාර්තා සඳහන් කළා.
අද (02) දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශනවලින් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීම ඊයේ (01) ආරම්භ වුණා.
අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම් සලකා බැලීම ආරම්භයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඉල්ලා සිටියේ, අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසයි.
මෙම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව බලපෑමක් එල්ල වන අතර, අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වීමක් සිදුවන බැවින්, ලබැඳියාවන් අතර ගැටුමක් මතුවිය හැකි බවද ඔහු අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
එම ඉල්ලීමට ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන් ද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බවයි.
ඒ අනුව විනිසුරු මඬුල්ලේ සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය අගවිනිසුරුවරයා සතුවන බැවින් ඊට බාහිර පාර්ශ්වයකට මැදිහත් විය නොහැකි බවද සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඬුල්ල, පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
අනතුරුව එම පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම ආරම්භ වුණා.
එහිදී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙන්ම, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළා.
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පැවතියද, විනිසුරුවරුන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඇති පරිසරයට බලපෑම් කිරීමට ආණ්ඩුවකට හැකියාවක් නොමැති බවයි.
මේ අතර, යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන මගින් මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපෑමක් සිදුවිය හැකි බව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවා.
විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් සම්බන්ධයෙන් තමන් විසින්ම තීරණයක් ලබාදීම නීතියේ මූලික මූලධර්මවලට පටහැනි බැවින්, මෙම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය කටයුතු කිරීම සුදුසු නොවන බවද ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණය ජනමත විචාරණයක් මගින් ජනතාවට භාරදිය යුතු බවද ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk