2026-09-01 13:58 Hours

22ට එරෙහි පෙත්සම්වලට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ලට අදාළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි


...

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, පවතින පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදුකරන බවත්ය.

අදාළ පෙත්සම් අද (01) විභාගයට කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

ඔහු ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු විනිසුරුවරුන් අසුන් ගන්වා අදාළ පෙත්සම් විභාගයට ගන්නා ලෙසයි.

තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන්ද එම ඉල්ලීමට සහාය පළ කළා.

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතුවන බවද සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.

එම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කළා.

මේ අතර, අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරුන්ද විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතුවන බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk