2026-09-01 09:57:00 Hours

එල්නිනෝ නිසා ශ්‍රී ලංකාවට වැඩි වර්ෂාවක් - එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්


...

පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාවට සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඒ හේතුවෙන් ගංවතුර, ජලයෙන් යටවීම් මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ආසියානු කලාපයේ රටවලට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම තක්සේරු වාර්තාවක මේ බව සඳහන් කර තිබෙනවා.

එම තක්සේරුවට අනුව එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති අතර, මෙරටට ඇති ප්‍රධාන අවදානම වියළි කාලගුණ තත්ත්වයට වඩා සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම බවයි එහි දැක්වෙන්නේ.

විශේෂයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවත්, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක් ලැබීමේ හැකියාවක් පවතින බවත් වාර්තාවේ සඳහන්.

මේ අතර, දේශගුණික අවදානමට අමතරව මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනයද ඉහළ යා හැකි බව එම වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම අවදානම මේ වනවිට පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින්, ඉදිරි බලපෑම් අවම කර ගැනීම සඳහා පූර්ව සූදානම් වීමට තවමත් තීරණාත්මක අවස්ථාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk