2026-09-01 10:19:00 Hours

වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් - නිර්දේශ ලබාදීමට සය පුද්ගල කමිටුවක්


...

වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සය පුද්ගල විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එහි සභාපතිවරයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා කටයුතු කරන අතර, වෛද්‍ය අමිල සුරංග මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ, වෛද්‍ය සමින්ද සමරකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.එන්.පී. ඕපාත සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලීප් ද සිල්වා යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

යෝජිත අතරමැදි ශ්‍රේණිය නිර්වචනය කිරීම, ඊට ඇතුළත් කළ යුතු වෛද්‍ය විශේෂඥතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම මෙන්ම වෛද්‍ය නිලධාරීන් එම ක්ෂේත්‍ර සඳහා තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව කමිටුව විසින් අධ්‍යයනය කිරීමට නියමිතයි.

එමෙන්ම අදාළ වෛද්‍ය නිලධාරීන් එම ශ්‍රේණියේ සේවය කළ යුතු කාලසීමාව, ඔවුන්ට හිමිවන ප්‍රතිලාභ සහ ස්ථාන මාරු ක්‍රියාවලිය පිළිබඳවද පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අදාළ වෘත්තීය විද්‍යායතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනාද ලබාගනිමින් මාසයක කාලයක් තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කමිටුවට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk