2026-08-30 09:34 Hours

උපකාර පන්ති ගුරුවරුන්ට ඉගැන්වීමේ බලපත්‍ර ක්‍රමයක් එයි


...

යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් අනතුරුව, පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ඇතුළු සියලු ගුරුවරුන්ට ඉගැන්වීමේ බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පවසනවා.

ඔහු සඳහන් කළේ එම බලපත්‍රය ලබාගැනීමෙන් අනතුරුව පමණක් අදාළ පුද්ගලයා පද්ධතියට සුදුසු ගුරුවරයෙකු ලෙස සැලකෙන බවයි.

මේ අතර, ආචාර්ය උපාධියක් ලබාගන්නා ගුරුවරුන්ගේ මූලික වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මූලික වැටුපට සමාන කිරීමට ද යෝජනා කර තිබෙනවා.

දක්ෂ ගුරුවරුන් අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා ගැනීමේ අරමුණින් මෙම පියවර යෝජනා කර ඇති අතර, ඉන් අනතුරුව ගුරුවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අතර වෙනස දීමනාවලින් පමණක් සිදුවනු ඇති බව සඳහන්.

එමෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් ප්‍රමිතියක් හඳුන්වාදීමටත්, එම පාසල් සඳහා නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් පසු ඉදිරියේදී ගුරුවරුන් ලෙස බඳවා ගැනෙන්නේ උපාධිධාරීන් පමණක් බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියා සඳහන් කළා.

ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන යන වෘත්තීය කාණ්ඩ සියල්ල ආවරණය වන පරිදි මෙම සභාව ස්ථාපිත කිරීමට නියමිත අතර, එහි සභාපතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk