2026-09-15 09:20 Hours
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ විශිෂ්ට දස්කම් දක්වන හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ පුහුණුවීම් සඳහා භාවිත කරන හෙල්ල 5ක් ගුවන් ගමනකදී කැඩී විනාශ වී ඇති බව වාර්තා වනවා.
අද (15) උදෑසන මෙරටට පැමිණි ගුවන් ගමනේදී මෙම හෙල්ලවලට හානි සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
රුමේෂ් තරංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් මීටර් 92න් එහා දක්ෂතාවන් දැක්වූ හෙල්ලයන් ද මෙසේ හානි වී ඇති බවයි.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට වැඩි බව ඔහුගේ පියා සඳහන් කර තිබෙනවා.
රුමේෂ් තරංග ජාත්‍යන්තර තරග සඳහා මෙන්ම පුහුණුවීම් කටයුතු සඳහාද මෙම හෙල්ල භාවිත කරන අතර, ඒවා ක්‍රීඩකයෙකුට අත්‍යවශ්‍ය වන වටිනා ක්‍රීඩා උපකරණ වනවා.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ අදහස වී ඇත්තේ විශේෂයෙන් ලෝක මට්ටමේ තරගාවලි සඳහා සහභාගී වන ක්‍රීඩකයෙකුගේ පුහුණුවීම් සඳහා භාවිත කරන මෙවැනි උපකරණවලට හානි සිදුවීම ඔහුගේ ඉදිරි පුහුණු කටයුතුවලටද බලපෑමක් එල්ල කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් මෙන්ම අදාළ ගුවන් සමාගමද කඩිනම් අවධානය යොමු කර, සිදුවූ හානිය පිළිබඳව අවශ්‍ය පියවර ගත යුතු බවටද අදහස් පළ වනවා.
මේ අතර, රුමේෂ් තරංග පසුගියදා පැවති වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක දක්ෂතාවක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගැනීමටද සමත්වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk