2026-09-09 10:15:00 Hours

යෝෂිතට සහ රෝහිතට අදාළ දොළොස්බාගේ තේ වත්තක් ගැන විමර්ශනයක්


...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මහත්වරුන් විසින් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු යොදවා නාවලපිටිය, දොළොස්බාග ප්‍රදේශයේ අක්කර 135ක පමණ තේ වතු ඉඩමක් අත්පත් කරගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර තිබෙනවා.

ඒ, අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් කළ පැමිණිල්ලකට අනුවයි.

එම සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත තුෂාර මහතා විසින් ඉකුත් අගෝස්තු 20 වැනිදා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව විමර්ශන කොට්ඨාසය විසින් පැමිණිලිකරුට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, පැමිණිල්ලේ සඳහන් කරුණු සනාථ කිරීමට අදාළ ලේඛනගත සාක්ෂි සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම 14 වැනිදා පෙරවරු 9ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙසද පැමිණිලිකරුට දැනුම් දී ඇත.

පැමිණිල්ලේ සඳහන් වන්නේ, නාවලපිටිය දොළොස්බාග ප්‍රදේශයේ පිහිටි ‘ඔසා ප්ලාන්ටේෂන්’ සමාගමට අයත් ‘කෙලී ගෲප්’ තේ වතුයායේ අක්කර 135ක පමණ සාරවත් භූමි ප්‍රමාණයක් සහ 1918 වසරේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද ඓතිහාසික වතු බංගලාවක්ද මෙම දේපළට ඇතුළත් බවයි.

මියගිය අරුණ විතානගේ හෙවත් ‘කජ්ජා’ සහ නෙවිල් නමැත්තා හරහා 2021 දෙසැම්බර් 11 වැනිදා ‘ඔසා ප්ලාන්ටේෂන්’ සමාගමේ අධ්‍යක්ෂ ධුර සඳහා පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් කරමින් සැබෑ හිමිකාරිත්වය සඟවා මෙම දේපළ අත්පත් කරගෙන ඇති බවටද පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා.

අදාළ අංක 1386 දරන ඔප්පුව සහ අංක 787 දරන පිඹුර ඇතුළු නිල ලේඛන විමර්ශන නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට පැමිණිලිකාර පාර්ශ්වය පියවර ගෙන ඇති බවද සඳහන්.

මේ අතර, CSN නාලිකාව හරහා විදේශ මුදල් විශුද්ධිකරණය සිදුකර ඇති බවටත්, දොළොස්බාග වතුයාය මිලදී ගැනීම සඳහා රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කර උපයාගත් මුදල් යොදාගෙන ඇති බවටත් යෝෂිත සහ රෝහිත රාජපක්ෂ මහත්වරුන්ට චෝදනා එල්ල වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk