2026-09-13 21:53:00 Hours

ආසියානු කුසලානය - ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 184ක ඉලක්කයක්


...

කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හිමිවී තිබෙනවා.

ඒ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමත් සමඟයි.

ඉන්දීය ඉනිමේදී ආරම්භක පිතිකාරිනියන් වන ස්මෘති මන්ධනා සහ ෂෆාලි වර්මා ඉන්දීය ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන්නා.

ෂෆාලි වර්මා පන්දු 39කදී ලකුණු 68ක් රැස් කළ අතර, ඇය පන්දු 24කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළා.

එමෙන්ම ස්මෘති මන්ධනා සහ ෂෆාලි වර්මා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, එයද ආසියානු කුසලාන කාන්තා තරග ඉතිහාසයේ වාර්තාගත ආරම්භක සබඳතාවක් ලෙස සටහන් වුණා.

අවසන් පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය ලකුණු වේගය යම්තාක් දුරට පාලනය කළද, ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 183ක් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව ආසියානු කුසලානයේ ශූරතාව දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 184ක් ලබාගත යුතු වනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ අඛණ්ඩව තෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් තරගයකදී එකිනෙකා හමුවෙමින්.

2024 අවසන් තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව සිය පළමු කාන්තා ආසියානු කුසලාන ශූරතාව දිනාගත්තා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk