2026-09-15 08:44:00 Hours
ඔලිම්පික් ශූරයා සහ ලෝක ශූරයා ඇතුළු ලෝක මලල ක්‍රීඩා පිටියේ සුපිරි තරු රැසක් අබිබවා යමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ සිය ආධිපත්‍යය යළිත් තහවුරු කළ ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණියා.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයින් සහභාගී වූ වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රුමේෂ් රන් පදක්කම දිනාගැනීමට සමත්වුණේ, ලොව ප්‍රබලතම හෙල්ල විසිකරුවන් රැසක් පරාජයට පත් කරමින්.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් අනතුරුව ලොව සුපිරි මලල ක්‍රීඩා තරු එක්වන ප්‍රධානතම තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලියට රුමේෂ් එක්වුණේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරයා, ඩයමන්ඩ් ලීග් ශූරයා මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩකයා ලෙසයි.
මෙම ඉසව්වට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් අටදෙනා අතර වත්මන් ඔලිම්පික් ශූර පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, වත්මන් ලෝක ශූර ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහි කෙශෝර්න් වෝල්කෝට්, දෙවරක් ලෝක ශූරතාව දිනා ඇති ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ යුරෝපානු ශූර ජර්මනියේ ජුලියන් වෙබර් ද ඇතුළත්ව සිටියා.
තරගයේ පළමු උත්සාහයේදී රුමේෂ්ට දැක්වීමට හැකිවූයේ මීටර් 75.89ක දක්ෂතාවක් පමණයි.
ඒ අනුව පළමු වටය අවසන් වනවිට ජුලියන් වෙබර් පෙරමුණේ පසුවූ අතර, ඇන්ඩර්සන් පීටර්ස් දෙවැනි ස්ථානයේත් රුමේෂ් පස්වැනි ස්ථානයේත් රැඳී සිටියා.
කෙසේ වෙතත්, දෙවැනි වටයේදී මීටර් 85.69ක දක්ෂතාවක් සටහන් කරමින් රුමේෂ් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
අනතුරුව තුන්වැනි වටයේදී මීටර් 87.11ක දක්ෂතාවක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට ඔහු සමත්වුණා.
එතැනින් නොනැවතුණු රුමේෂ් තරංග සිය සිව්වැනි සහ අවසන් උත්සාහයේදී මීටර් 91.09ක දැවැන්ත විසිකිරීමක් සටහන් කරමින් රන් පදක්කම තහවුරු කළා.
ඒ අනුව ලොව ප්‍රබලතම හෙල්ල විසිකරුවන් පරාජයට පත් කරමින් රුමේෂ් තරංග වර්ල්ඩ් අල්ටිමේට් ශූරයා ලෙස කිරුළු පැළඳීමට සමත්වුණා.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් රුමේෂ්ට අමෙරිකානු ඩොලර් 150,000ක මුදල් ත්‍යාගයක් ද හිමිවුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්න මුදලක්.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව අදහස් දැක්වූ රුමේෂ් තරංග සිය ජයග්‍රහණය පිළිබඳව සතුට පළ කරමින් ඒ සඳහා සහය ලබාදුන් සියලුදෙනාට ස්තූතිය පළ කළා.
එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට ඇත්තේ තවත් පදක්කම් තුනක් පමණක් බවද ඔහු සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk