2026-10-27 13:36 Hours

‘කජ්ජා’ සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාරියක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි


...

හුංගම ප්‍රදේශයේදී ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරියක වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නමැත්තිය ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ නමැත්තා සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.

එමෙන්ම, ඝාතනයට ලක්වීමට පෙර ‘කජ්ජා’ වෙත අවසන් දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබාදී ඇත්තේ ද මෙම සැකකාරිය බවට විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

‘බැකෝ සමන්’ නමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා ‘කජ්ජා’ සහ ඔහුගේ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපක්‍රමශීලීව කැඳවාගෙන ගොස් ඇත්තේ ද ඇය බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඔවුන් එම අවන්හලට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට ගොස් තිබෙනවා.

ඒ අනුව, අද අලුයම 5.20ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk