2026-10-27 10:06:00 Hours

කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමක්


...

බෙංගාල බොක්ක සහ දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

අද (27) පෙරවරු 8ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙනවා.

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ඔර්නබ්’ සුළි කුණාටුව ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද (27) අලුයම 2.30 වන විට එය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවතුණා.

එම සුළි කුණාටුව අද පස්වරු 5.30 දක්වා බටහිරට බරව වයඹ දෙසටත්, ඉන් අනතුරුව වයඹ දෙසටත් ගමන් කර හෙට (28) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර, අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 140ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ද ඇති විය හැකියි.

එම මුහුදු ප්‍රදේශවල රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු වීමේ අවදානමක් පවතිනවා.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම ප්‍රදේශවල දැනට ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk