2026-10-26 21:49 Hours

ප්‍රධාන ජලාශ 17ක් ඇතුළු ජලාශ රැසක් වාන් දමයි


...

පවතින අධික වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාන් දමමින් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, ජලාශ වෙත ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී වාන් දොරටු විවෘත කර තබන ප්‍රමාණයන් වෙනස් විය හැකි බවයි.

ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ජලාශවල පහළ ප්‍රදේශවල සහ ගංගා දෙපස පදිංචි ජනතාව ජල මට්ටම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ වන විට ප්‍රධාන ජලාශ කිහිපයකින් ජලය මුදාහරින ආකාරය පහත පරිදියි.

දැදුරුඔය ජලාශය: වාන් දොරටු 8ක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයකට ඝන අඩි 15,700ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට මුදාහරිනවා.

රාජාංගනය ජලාශය: වාන් දොරටු 10ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයකට ඝන අඩි 8,880ක ජල ප්‍රමාණයක් මුදාහැරෙනවා.

අංගමුව ජලාශය: වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයකට ඝන අඩි 2,440ක ජල ප්‍රමාණයක් කලාවැව දෙසට මුදාහරිනවා. තබ්බෝව ජලාශය: වාන් දොරටු 8ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයකට ඝන අඩි 3,520ක ජල ප්‍රමාණයක් මුදාහැරෙනවා.

ඉඟිනිමිටිය ජලාශය: වාන් දොරටු 2ක් අඩි 2 බැගින් සහ තවත් වාන් දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර, තත්පරයකට ඝන අඩි 2,000කට අධික ජල ප්‍රමාණයක් මී ඔයට මුදාහරිනවා.

ජලාශවලින් ජලය මුදාහැරීමේ ප්‍රමාණයන් කාලගුණික තත්ත්වය අනුව වෙනස් විය හැකි බැවින්, පහත් බිම්වල සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk