2024-11-01 15:36:00 Hours
අගනුවර ප්රමුඛතම බෞද්ධ දරුවන්ටම වෙන් වූ පාසලක් ලෙස නුවණින් සහ ගුණයෙන් පිරි ශ්රේෂ්ඨයන් ලොවට දායාද කිරීම දැක්ම කොටගත් කොළඹ නාලන්දා විද්යාලය ආරම්භ වන්නේ බුද්ධාගමත් දේශීය සංස්කෘතියත් රැක ගැනීමට කැපවූ දේශප්රේමීන් පිරිසකගේ අප්රතිහත ධෛර්යයේ ප්රතිඵලයක් ලෙසිනි.
වර්ෂ 1886 දී ආනන්ද විද්යාලය ආරම්භ වූයේ බෞද්ධ දරුවන් මිෂනාරී පාසල්වලට යැවීමට බල කෙරුණු කාලයකදීය.
බෞද්ධ සංස්කෘතියත් දේශීයත්වයත් සුරකිමින් අධ්යාපන කටයුතු කෙරුණු ආනන්ද විද්යාලය රට පුරා ප්රචලිත වද්දී ඊට ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට විදුහලේ ඉඩකඩ මදි විය. එවකට ආනන්ද විද්යාලයේ විදුහල්පතිව සිටි පී.ද. එස්.කුලරත්නගේ අදහසකට අනුව 1924දී නාලන්දාවේ ඇරඹුම සටහන් වන්නේ ආනන්ද විද්යාලයේම කොටසක් ලෙසිනි.
1925 නොවැම්බර් 01 වැනිදා වෙනම පාසලක් බවට පත්වූ එම විද්යාලය බළංගොඩ ආනන්ද මෛෙත්ර්ය නාහිමියෝ ‘නාලන්ද’ ලෙස නම් කළ අතර, “ප්රඥාව චරිතය අලංකාර කරයි” යන අරුත ප්රභාවත් කරමින් එදා මෙන්ම අදත් විරාජමාන වන්නේ රටටත් ලොවටත් වැඩදායී පුතුන් රැසක් බිහිකිරීමේ අභිමානය ඇතිවය.
එදා මෙදාතුර නාලන්දා විද්යාලයට නායකත්වය දුන් හිටපු විදුහල්පතිවරුන් අතර එල්.එච්.මෙත්තානන්ද, මහාචාර්ය ගුණපාල මලලසේකර, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා, ජේ.එන්. ජිනේන්ද්රදාස, ඩී.සී.ලෝරිස්, එම් ද එස් ජයරත්න, එම්. ඩබ්ලිව්. කරුණානන්ද, කේ.එම්.ඩබ්ලිව් කුරුප්පු, ඩී.ජේ.එදිරිසිංහ, ගුණපාල වික්රමරත්න, සුගුණදාස අතුකෝරල, ධර්ම ගුණසිංහ, ඩී.ජී.සුමනසේකර, එඩ්වඩ් රණසිංහ, එච්.යූ. ප්රේමතිලක, රංජිත් ජයසුන්දර සහ තිලක් වත්තුහේවා වේ.
සිසුන් 4,500ක් ඉගෙනුම ලබන නාලන්දා විද්යාලයේ වත්මන් වත්මන් නියමුවා වන්නේ විදුහල්පති යූ. දර්ශන ඉරාජ් චම්පික ද සිල්වා ය. 2005 වසරේ අධ්යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත් වූ ඉරාජ් චම්පික ද සිල්වා 2006 ජනවාරි 8 වැනිදා සිය පළමු පත්වීම ලබන්නේ කඩුවෙල බෝමිරිය මධ්ය විදුහලේ විදුහල්පතිවරයා ලෙසය. එම පාසලේ වසර 11ක් සහ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ වසර 6ක් විදුහල්පති ලෙස හෙතෙම කටයුතු කර ඇත.
පළමු ශ්රේණියේ සිට උසස්පෙළ දක්වා පන්ති ක්රියාත්මක නාලන්දා විද්යාලයේ උසස්පෙළ අංශය භෞතික විද්යා, ජීව විද්යා, වාණිජ, කලා සහ තාක්ෂණ විෂයය ධාරාවන්ගෙන් ක්රියාත්මක වේ.
අධ්යාපනයෙන් මෙන්ම ක්රීඩාවෙන් සහ විෂය සමගාමී ක්රියාකාරකම්වලින් දරුවන් තුළ නායකත්වය සහ පෞරුෂය ගොඩනැඟීමේ අරමුණෙන් විද්යාලය තුළ ක්රීඩා 33ක් සහ සංගම් 58ක් ක්රියාත්මක වේ. ක්රීඩා අතරෙන් ක්රිකට් ක්රීඩාව නාලන්දාවට විශේෂ වන්නේ ආනන්ද නාලන්ද සුලෝහිත සංග්රාමය නිසාවෙනි. නාලන්දාව මේ වන විට ජාතික ක්රිකට් කණ්ඩායමට වැඩිම ක්රීඩකයන් බිහිකොට ඇති ප්රමුඛ පාසලකි. ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ පළමු නායකයා බන්දුල වර්ණපුර කොළඹ නාලන්දා විද්යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. එදා මෙදාතුර නාලන්දාවෙන් බිහිවී රටත් ලෝකයත් බබළවන විද්වතුන්, විද්යාඥයන්, පරිපාලන නිලධාරීන්, ක්රීඩකයන්, කලාකරුවන්, මාධ්යවේදීන්, නීතිඥවරුන් ඇතුළු විවිධ ක්ෂේත්රවල ප්රකට වූවෝ රැසකි.
ක්රිකට්වලට අමතරව දුනු විදීම, වූෂු, වෙඩි තැබීම, ටේබල් ටෙනිස්, ටෙනිස්, බැඩ්මින්ටන්, පිහිනුම්, මලල ක්රීඩා, බොක්සින්, ස්කොච්, චෙස් ක්රීඩාවලින් නාලන්දා පුතුන් ලබා ඇති ජාතික හා ජාත්යන්තර ජයග්රහණ රැසකි. ඒ අතරෙන් ඉකුත් තෙමස තුළ පමණක් විවිධ සංගම් නියෝජනය කරමින් නාලන්දා පුතුන් ලබා ඇති සමස්ත ලංකා මට්ටමේ ජයග්රහණ රැසකි.
භෞතික සම්පත්වලින් ඉතා ආඪ්ය නාලන්දා විද්යාලය පාසල තුළ විනය සහ හැදියාව අංක එකේ ලා සලකන අතර, ඒ වෙනුවෙන් විද්යාලයේ බෞද්ධ සංගමයෙන් ඉටුවන්නේ විසල් මෙහෙවරකි. බෞද්ධ සංගමය විසින් සෑම මසකම පෙර පෝය වැඩසටහන් ක්රියාත්මක කරන අතර වෙසක්, පොසොන් උත්සව වෙනුවෙන් දාන, ශීල, භාවනා වැඩසටහන් ක්රියාත්මක කරයි. ඕල්කට් දිනය වාර්ෂිකව හරසරින් සමරන අතර, සෑම වසරකම නොවැම්බර් 25,26 දෙදින ශ්රී දළදා මාලිගාවට මුල්තැන් පූජාවක් සහ සාංඝික දානයක් ද පිළිගැන්වීම විදුහලේ සම්ප්රදායකි.
මේ සියල්ල මඟින් රට දැය සමය වෙනුවෙන් කැපවූ සමබර පෞරුෂයකින් යුතු උදාර පුතුන් ලක්මවට දායාද කරන්නට නාලන්දා විද්යාලය අද මෙන්ම හෙටත් කැපවී සිටී.
මේ අතර ලංකා ලයිව් වෙත අදහස් දැක්වූ නාලන්දා විද්යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්ය සංගමයේ සභාපති හේෂාන් පාදුක්ක
"අපි ඉගෙන ගත්ත, අපි හැදුණු තැනට අපි අපේ යුතුකම ඉෂ්ට කරන්න ඕනි. නාලන්දාවේ සියවස ව්යාපෘතිය මං දන්න තරමින් ආදි ශිෂ්යයන් එකතු වෙලා පාසලක් වෙනුවෙන් කරන දැවැන්තම ව්යාපෘතිය. නවෝත්පාදන ගොඩනැගිල්ල සහ ක්රීඩා මධ්යස්ථානයේ ඉදි කිරීම්වලට පමණ රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැය වෙනවා" යනුවෙන් සඳහන් කළේය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk