2026-08-24 13:26 Hours
දිවයිනේ තෙත් කලාපයේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති වුවද, වියළි කලාපයේ ජලාශවල ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වනවිට 30%කටත් වඩා අඩු මට්ටමකට පහළ බැස ඇති බවයි.
දිවයිනේ ප්‍රධාන ජලාශ 74හි සමස්ත ජල ධාරිතාවද 36%ක් දක්වා පහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළා.
සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී වියළි කාලගුණයක් පැවතියද, මේ වසරේ පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.
අධික උෂ්ණත්වය හේතුවෙන් වැව් සහ ජලාශවල ජලය වේගයෙන් වාෂ්පීකරණය වීමද ජල ධාරිතාව පහළ යාමට බලපා තිබෙනවා.
මේ හේතුවෙන් දැඩි වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවල පානීය හා පාරිසරික අවශ්‍යතා සඳහා ජලය වෙන් කිරීමට සිදුවීම නිසා වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සීමා කිරීමට සිදුවිය හැකි බවද ඒ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, පානීය ජලය ලබාදීම මෙතෙක් සීමා කර නොමැති අතර ඇතැම් ප්‍රදේශවල වගා කටයුතු සඳහා නිකුත් කරන ජල ප්‍රමාණය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර එල් නිනෝ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම දිස්ත්‍රික්කවල පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු එම තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.
වියළි කාලගුණයෙන් බලපෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය බෙදා හැරීමටද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පවුල් 23,048කට අයත් පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
අධික උණුසුම හා වියළි කාලගුණය හමුවේ ලැව්ගිනි වැනි තත්ත්වයන් ඇතිවීමේ සහ ඒවා වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk