2026-09-03 21:25:00 Hours

2028 සිට සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන්ට NVQ 3 අනිවාර්යයි


...

සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන් නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් අදාළ රීති ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2028 ජනවාරි 01 වනදා සිට 2029 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ සූර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කිරීම සඳහා එම වෘත්තියට අදාළ ජාතික වෘත්තීය නිපුණතා (NVQ) 3 වන මට්ටම අවම සුදුසුකම ලෙස අනිවාර්ය කර ඇති බව සඳහන්.

එමෙන්ම 2030 ජනවාරි 01 වනදා සිට සූර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට අවම වශයෙන් සූර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් NVQ 4 වන මට්ටම සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වනු ඇති.

ඊට අමතරව ඉංජිනේරු කාර්මික ශිල්පියෙකු ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීමද අනිවාර්ය කර ඇති බව වාර්තා වනවා.

මේ අතර, සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 5,000ක් සහ උපදේශකවරුන් හා පරීක්ෂකවරුන් 100ක් බිහිකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

2030 වනවිට සියයට 70ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් ළඟා කර ගැනීම සඳහා වාර්ෂිකව මෙගාවොට් 600ක පමණ ධාරිතාවක් සූර්ය බල පද්ධති මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ යුතු බවයි සඳහන් වන්නේ.

මේ වනවිට සූර්ය බල පද්ධති ආනයනය සහ සවිකිරීම සඳහා සමාගම් 1,000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් බලපත්‍ර ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, දැනට සූර්ය බල පද්ධති කර්මාන්තයේ පුද්ගලයින් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටියද, ඔවුන්ගෙන් බහුතරයකට එම කර්මාන්තයේ නිපුණතාව සම්බන්ධයෙන් පිළිගත් වෘත්තීය සහතිකයක් නොමැති බව සඳහන්.

එමෙන්ම වාර්ෂිකව මෙගාවොට් 600ක පමණ සූර්ය බල පද්ධති සවිකිරීමේ වැඩපිළිවෙළ සඳහා වසරකට සූර්ය බල තාක්ෂණික ශිල්පීන් 5,000ක් පමණ බිහිකිරීම අවශ්‍ය වී තිබෙනවා.

කෙසේ වෙතත්, සූර්ය බල තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථාන සීමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම සූර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශකවරුන් සිටින්නේද ඉතා සීමිත සංඛ්‍යාවක් බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 5,000ක් සහ උපදේශකවරුන් හා පරීක්ෂකවරුන් 100ක් බිහිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

එම වැඩසටහන යටතේ මේ වනවිට සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 1,500ක් පුහුණු කර ඇති බව සඳහන්.

පුහුණුව ලැබූ ශිල්පීන්ට සූර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් පෙර ඉගෙනුම් හා පළපුරුද්ද ඇගයීමේ (RPL) ක්‍රමවේදය යටතේ කඩිනමින් NVQ 3 මට්ටමේ සහතිකය ලබාදීම සඳහා විශේෂ වැඩසටහනක්ද මේ වනවිට ක්‍රියාත්මකයි.

ඒ යටතේ සූර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස වසර දෙකකට වැඩි පළපුරුද්දක් ඇති කාර්මික ශිල්පීන් සඳහා නොමිලේ NVQ සහතිකය ලබාදීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk