2026-09-03 18:26:00 Hours
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසනවා.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, පාදුක්ක සහ ගම්පහ පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව පීඩාවට පත් කළ බවට වාර්තා වී ඇති බවයි.
ඒ අනුව, 2026.05.05 වනදා නිකුත් කළ R.T.M. 93 පණිවුඩය මගින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ, රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති මෙරට ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් මගින් නිකුත් කරන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙසයි.
2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත යටතේ ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සඳහා පූර්ණ නීතිමය පිළිගැනීමක් හිමිවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
ඔහු පෙන්වා දුන්නේ රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, රක්ෂණාවරණය සක්‍රියද නැද්ද යන්න නොමිලේ තහවුරු කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට පහත ක්‍රමවේද භාවිත කළ හැකි බවයි.
*1338# අමතා රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කිරීම.
1338 අංකයට කෙටි පණිවුඩයක් යැවීම.
1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම.
මේ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607කම ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් පහළ නිලධාරීන් යළි දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
යම් පොලිස් නිලධාරියෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පතක් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳ ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk