2026-08-22 19:59:00 Hours

පෞද්ගලික අංශයටත් දුම්රිය සීසන් ටිකට්


...

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහාද මාර්ගගත ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම ලබන සැප්තැම්බර් මාසයේ සිට හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව ඔක්තෝබර් මාසය වනවිට පෞද්ගලික අංශයේ සේවකයින්ටද කිසිදු ගැටලුවකින් තොරව මාර්ගගත ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම ලබාදීමට කටයුතු කරන බවද ඔහු පවසනවා.

රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා මාර්ගගත ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දී තිබෙනවා.

මේ අතර, රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ලබන සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියදුරන් මෙන්ම මගීන්ද ආරක්ෂිත බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවල රියදුරන් සඳහා දින 10ක විශේෂ පුහුණුවක් ලබාදීමටත්, රියදුරන් ඉලක්ක කරගනිමින් නිරන්තර ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ සිදුකිරීමටත් තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමිතිගත සහ ආරක්ෂිත වාහන පමණක් ධාවනයට යෙදවීමටද කටයුතු කරන බවයි.

මේ අතර යතුරුපැදිකරුවන් සඳහා SLS ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැසුම් භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී යතුරුපැදි සඳහාම වෙන් වූ මංතීරුවක් හඳුන්වාදීමටද සැලසුම් කර ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk