2026-10-01 14:03:00 Hours

මෙට්‍රෝ රථගාලකට පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් ගත් බවට චෝදනාවක්


...

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස ‘මෙට්‍රෝ’ බස් රථගාලක් සඳහා භාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබෙනවා.

ඒ, අදාළ භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය විසින් අතුරුගිරිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

අතුරුගිරිය ‘මෙට්‍රෝ’ බස් රථගාල පසුගිය සැප්තැම්බර් 29 වැනිදා අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබුණා.

ඒ සඳහා වෙන් කළ භූමිය සැප්තැම්බර් 26 වැනිදා පිරිසිදු කර සකස් කර ඇති අතර, එලෙස භාවිත කර ඇත්තේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක පමණ භූමි ප්‍රමාණයක් බවයි එහි පාලනාධිකාරිය පවසන්නේ.

අදාළ භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් පාලනාධිකාරිය පසුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලට අදාළව අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සහ කඩුවෙල නගරාධිපතිවරයා ඊයේ (30) අතුරුගිරිය පොලිසියට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත්, පැමිණිල්ල ඉදිරිපත් කර දින පහක් ගතවී තිබියදීත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වන බවට නිවාස සංකීර්ණ පාලනාධිකාරිය චෝදනා කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk