2026-10-01 10:44:00 Hours
කොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.
පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම අභ්‍යන්තර පරීක්ෂණය සිදුකර ඇත්තේ පසුගිය අගෝස්තු 31 වැනිදා කොළඹ වරායේ බහාලුමක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළවයි.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් කොළඹ වරායේ ඇති බවට අගෝස්තු 14 වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට තොරතුරක් ලැබී ඇති බවයි.
එම තොරතුර එදිනම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට දැනුම් දී තිබුණද, අගෝස්තු 22 වැනිදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතාටද එම තොරතුර ලැබී තිබෙනවා.
ඒ අනුව ඔහු අවශ්‍ය පියවර ගෙන අගෝස්තු 31 වැනිදා කොළඹ වරායට ගොස් රේගු නිලධාරීන් සමඟ බහාලුම විවෘත කර මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඇති අතර, මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීම මූලික වශයෙන් සිදුකර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අදාළ තොරතුර සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවත්, නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ විමර්ශනයක් සිදුකිරීම සුදුසු බවටද එම ඒකකය වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
එමෙන්ම අදාළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය යම් පාර්ශ්වයකට වාසිදායක තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදුවූයේද යන්න සම්බන්ධයෙන් සොයාබලන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් කරුණු අනාවරණය වන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනවලදී තීරණය කිරීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk