2026-09-16 09:33:00 Hours
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ශ්‍රී ලංකා හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශවල ඇතැම් කොටස් සතුව පැවතියද, එම තොරතුරු අනෙකුත් ආරක්ෂක අංශ වෙත ලබාදී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇතැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, හමුදා බුද්ධි අංශය තුළ සිටි ඇතැම් පුද්ගලයන් එම තොරතුරු හිතාමතා සඟවා තැබුවේද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි.
වවුනියාවේ පළමු හමුදා බුද්ධි බලකායට තොරතුරු සැපයූ මූලාශ්‍රයකුගෙන්ද විමර්ශකයන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එම මූලාශ්‍රය 2014 වසරේ සිට අන්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදී ඇති අතර, පාස්කු ප්‍රහාරයට පෙර දිනද විශේෂිත තොරතුරු ලබාදී තිබූ බව පැමිණිල්ල සඳහන් කළා.
කෙසේ වෙතත්, එම තොරතුරු අනෙකුත් ආරක්ෂක අංශ වෙත දැනුම් දී නොමැති බවටද දිලීප පීරිස් මහතා චෝදනා කළා.
මේ අතර, වවුනතිව් ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳවද අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරුණා.
අප්‍රේල් 12 වැනිදා ගිරිතලේ බුද්ධි කඳවුරේ නිලධාරියකු විසින් එම ප්‍රහාරයට සහරාන් හෂීම් සම්බන්ධ බවට ලිඛිතව දැනුම් දී තිබියදීත්, එම ප්‍රහාරය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වෙත පැවරීමට හමුදා බුද්ධි අංශය කටයුතු කර ඇත්ද යන්න පිළිබඳවද විමර්ශනය කෙරෙන බව පැමිණිල්ල සඳහන් කළා.
මීට අමතරව, පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය සතුව පැවති බව කියන තොරතුරු සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු ඉදිරිපත් වුණා.
එවකට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු වූ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර විසින් අන්තවාදීන් 94 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත යවා තිබූ බව දිලීප පීරිස් මහතා පැවසුවා.
එම ලැයිස්තුවට සහරාන් හෂීම්, රිල්වාන් ඇතුළු පාස්කු ප්‍රහාර නඩුවේ චෝදනා ලබා සිටින පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබූ බවද පැමිණිල්ල සඳහන් කළා.
එම තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස නිලන්ත ජයවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු, 2019 අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්ද CIDය විමර්ශන සිදුකරන බව සඳහන්.
එහිදී මියගිය පුද්ගලයන් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණේද, එය වැළැක්වීමට හමුදා සාමාජිකයන් හිතාමතා කටයුතු කළේද යන්න පිළිබඳව විමර්ශනය කරන බවද පැමිණිල්ල ප්‍රකාශ කළා.
මේ අතර, කරුණු දැක්වීමේදී නම් කළ බුද්ධි නිලධාරීන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ බවද සඳහන්.
ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, ගිරිතලේ බුද්ධි කඳවුර භාරව සිටි නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බැවින් එම කරුණ අධිකරණය හමුවේ පවතින බවයි.
මේ අතර, සුරේෂ් සලේ මහතා දිගින් දිගටම රෝහල්ගතව සිටීම සම්බන්ධයෙන්ද පැමිණිල්ල අධිකරණයේ අවධානය යොමු කළා.
සලේ මහතා ජුනි 7 වැනිදා සිට දින 100කට ආසන්න කාලයක් වෛද්‍ය නිවාඩු ලබා සිටින බව සඳහන් කළ දිලීප පීරිස් මහතා, ඒ සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇති වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද අධිකරණයට දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂාවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැමිණිල්ලේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, බී වාර්තාවල සඳහන් ප්‍රකාශ සාක්ෂි ලෙස සැලකිය නොහැකි බවයි.
අදාළ වෛද්‍ය වාර්තා නිසි ක්‍රියාපටිපාටිය අනුව ලබාගන්නා ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සුරේෂ් සලේ මහතාට අදාළ වෛද්‍ය වාර්තා ලබානොදීමට හේතු පැහැදිලි කිරීම සඳහා මීළඟ නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළා.
නඩුව නැවත සැප්තැම්බර් 22 වැනිදා කැඳවීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk