2026-09-16 11:47:00 Hours

FCID කැඳවීම අස්සේ ශිරන්ති රටින් පිටවීම ගැන පවුලෙන් ප්‍රතිචාරය


...

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටින් පිටව ගිය බවට පළ වන වාර්තා අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

එමෙන්ම, FCID වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද ඔහු පවසා තිබෙනවා.

ගුවන් යානය පිටත්වීමට ආසන්න අවස්ථාවේදී ගුවන් තොටුපළේ ගේට්ටුව අසලදී නිලධාරියෙකු විසින් අදාළ කැඳවීමේ ලිපිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත භාරදී ඇති බවයි පවුලේ සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, FCIDය සඳහන් කර ඇත්තේ සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 24 වැනිදා FCIDය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම 1.10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk