2026-09-16 08:56:00 Hours
දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඒ අනුව, ගිං ගඟේ පහළ ප්‍රදේශයේ බද්දේගම ආසන්න ස්ථාන කිහිපයකින් මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
කළු ගඟේ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද, පහළ ද්‍රෝණියේ කැස්බෑව ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇති බව සඳහන්.
මීට අමතරව, කොළඹ ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී තිබෙනවා.
මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට අයත් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවලින් මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, අම්පාරේ ගල්ඔය ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත.
මඩකළපුව දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ වෙතත්, බොහෝ ගංගාවල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යාමක් මේ වනවිට දක්නට නොමැති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.
තෙත් කලාපයේ ගිං, නිල්වලා සහ කළු ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේද ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, ඒවා මේ වනවිට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බව සඳහන්.
කෙසේ වෙතත්, එම ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk